සකුරාවියේ

 සීත⁣ල ජපන් රටේ

හරි හැඩට පිපුණු සකුරාවියේ,

නුඹත් දකින්න ඇති,

එදා නොරිකෝගේ,

ඇසින් ගිලිහුණු කඳුලක්,

තාමත් ඉතිරිව තියෙනවා කබුකි වීදිවල,

ඒ හින්දම වෙන්නැති,

නුඹත් නුඹේ සනුහරේටම,

"සයෝනාරා" කියලා,

තම්බපණ්ණි එන්න ඇත්තේ,

එදා දෙවොන්දරාසංව ලැබුණු,

නොරිකොට වඩා නම් නුඹ,

හරිම පිංකාරි,

ඒත් එහෙමයි කියලා නුඹව,

කොහොම නම් සාධාරණීකරණය කරන්නද....?

මුහුදු හතෙන් එහා රටක,

ආදරණීය මව්පිය යුවලක්,

"චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ

 මන්ද කියාපන් නොකියා සැඟවිලා      ගියේ....?"

කියලා සුසුම් හෙලනවිට,

ඉතිං ආදරණීය පුංචි ජපන්ලියේ...

මට නම් නුඹ,

දෙපැත්තෙන් එක් පැත්තකටවත්

හරි හැටි සාධාරණ තීන්දුවක්,

දීමට නොහැකි,

එක්තරා ආදර අවනඩුවක,

අහිංසක විත්තිකාරියක්....




             

                

Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔