Posts

Showing posts from December, 2022

එතර කතරක තනි වූ කත

Image
  දුක දැනී හඩන විට හදවතට ළං වෙලා කියයි හිස අත ගගා නාඩන් රත්තරං ... මලක පෙති එකිනෙක සිඹින සිහිල් පිණි බිදු සේ දරුවන්ගේ හදමඩල සනසන සුපෙම් මල් වැස්ස නුඹ විය... මැටි ගෙබිම උඩ දුවන පුංචි දෝණිගේ පා සගල රතු පලස් මත හොවන්නට සිනහ වෙමින් හද පුරා.. කරන්නට අන් කිසිවක් නැත හද ගින්න වල දමා සොයන්නට ඒ සිහින මාවත තනි වුණ නුඹ එතෙර කතරක.... කටුක වුවත් ඔය දිරිය හද තුළ වාසනා මල් පොකුරු පිපියන් රැගෙන දෝතට සිනහ මල් පැණි නැවත එන්න නුඹ අඳුර බිඳලන්න ...

කලාව

Image
  විකෘත්තියෙන් වියුක්තව ප්‍රකෘතිය මිනිස් මනස තුළ  සෞන්දර්යාත්මක ලෙස පිළිඹිබු වීම කලාවයි.... ජාති,ආගම්,කුලමල භේදයකින් තොරව ඒ මහා අපූර්වත වූ කලාව නැමති මායව ලොව වෙසෙන සෑම මිනිස් හදවතක් තුළම මුල් බැස ගෙන පවතී මුළු විශ්වයම දිනෙන් දින හිනිපෙත්තටම  ගමන් ගන්නේ මිනිස් හදවත් තුළ ඇති සෞන්දර්යාත්මක ප්‍රතිරූප වන කලාව නිසාමය... කිසි කලෙක අහස් ගැබට හිරුත් මහී කතට දියත් නැතිව සිටීමට නම් නොහැක එසේ සිදුවන්නේ යම් සේද, මිනිස් මනසටද  කලාව නැමති මායාවෙන්... වෙන් වී සිටීමට නම් නොහැක.

උරුමය

Image
  සියවස් ගණනක සොඳුරු  අතීතය සමරමූ පුතුනේ  හද බැතියෙන්... ඔබගේ මව්බස හෙළබස හෙළදැය එකම දම්වැලේ  පුරුක් දෙකක් මිස අරුත් දෙකක් නොව අනුරපුර පොළොන්නරු යුගවලදී ලියන ලද අකුරු වැල් තුළ රැඳී ඇත්තේ හෙළබස් වහර පුස්තකාල පොත් අතර පන් හිදෙන් කරන ලද හපන්කම් බලන් පුත... ඒ ඔබේ උරුමයයි ඔබේ මුදු පුංචි සිත ගත් සොඳුරු  මුදු හැඟුම් ලියන්නට රස මවා අද අදම සිතෙන්  පුත නුඹට...

අසන් මිනිසුනේ😔

Image
  නිල්ල දිලෙන  තුරු යායේ... ගීත ගයන විහග රැලට සුවඳ මලට  මුව තබමින් රොන් උරනා  බිඟු රෑනට උන්හිටි තැන්  අහිමි කළේ දියුණුවේ මංපෙත් හොයලද  නපුරු මිනිසුනේ වින කරමින්  තුරු වියනට තැනුවට සුවිසල් මන්දිර... එරෙහි වෙලා සොබාදහමට අද පමණයි  හෙටක් නොමැත සිතන් මිනිසුනේ රැකුනෙත් නිල් තුරු යායම රැකෙයි අපත් මුළු ලොවමත් නොහැකි වුණොත්   දිවි ගෙවන්න අනුගත වී සොබාදමට සොඳුරු හෙටක්  අපට අහිමි වේවි මිනිසුනේ....

ඉකිබිදි දිසාපාමොක්

Image
  ලදු කැලෑ පිරි බිමෙහි හිඹුටු මාදං සොයා නොවේ උන් ඇවිදින්නේ රෑ පුරා නිදි වරා වෙඩි හඩට බිය වැදී සැඟවෙන්න  තැන් සොයයි ලදු වැටියේ තුරුවදුලේ සියොත් කැල නිහඬ වී ගොළු වෙලා සිටින්නේ වියොවින්ය ළමුන්ගේ... සාමලා අමරලා  පොත් අතර ඉකිබිදී පහස නැත ලබන්නේ නැත ඇසුර ඔවුන්ගේ පන්ති කාමරය තුළ  නිදිවරා මැළව ගිය නෙත්වලින් යදින්නේ සාමයයි,නිදහසයි අකුරු කරන්නට මිසක් පිපාසා  නැත ඔවුන්ට ඉකි බිදියි හදවතින් දිසාපාමොක් ඇදුරු...

හිරිමල් යෞවනය 🤘

Image
  කෙළි කවටකමින් සිනහව සැම විටම මුව තුළ දරාගෙන දඟකාරකම් සිත් තුළ පුරවාගෙන කෙළි දෙලෙන්  ගෙවනා ජීවිතය  ඉමක් කොනක් නැති  හැඟීම් දැනීම්  සිත් තුළ සිර කරවාගෙන දුක සැප එකසේ  තුරුළු කරගෙන ගෙවනා සැම මොහොතම සරලය සැහැල්ලුය... ඒ චමත්කාර වූ   හිරිමල් යෞවනය  ජය ටැඹ කරා යාමට දරනා උත්සහය  මල්ඵල ගැන්වෙන මොහොතේදී මෙන්ම වැටෙනා සැම මොහොතේදීම  වෙරදරා නැගීසිටින්නේ ඒ දඟකාර  හිරිමල් යෞවනය නිසාමය.... අකමැත්තෙන් වුවද සිහිකිරීමට අවසනයි ඒ මහා සයුර නැමති චමත්කාර වූ සුන්දර  හිරිමල් යෞවනය අප හා  රැදී පවතිනුයේ ස්වලපවූත් අල්පවූත් කාලයක් පමණි... ඒ අල්ප වූ කාලය විනාශයට බිළි නොදී සමනලුන් මෙන්  ගුවන් ගැබ සිසාරා අහස් විල්තෙර   පියඹා යමු රිසිසේ.....🤷

මමත් මිනිසෙකි

Image
  මගතොට ඇවිදිමින් අනුනට අත පාමින් ලැබෙන  සතයෙන් දෙකෙන් ගෙවමි දිවිය මම සතුටින් සිත අකමැතිමුත් ආයාචනයට මුවග නොපැකිලෙයි ආයාචනයට පිළුණු අහරට  කුස කැමතිය කුසගිනි නිවුමට සිත අකමැතිමුත් මහමග නිදනට මා නෙත් කැමතිය.. නමුදු නිදනට සිත කැමතිමුත් මගේ දරු සෙනෙහසට ඔවුන් අකමැතිය ඒ සෙනෙහස පිදුමට හා ලැබුමට මා අකමැතිමුත් මේ දිවි ගමනට මා සිත කැමතිය  ජීවත් වීමට අතපය වාරු නැතත් සිතේ සවිය සහ  බලය ඇත සැරයටිය පමණි පිහිටට මමත් මිනිසෙකි තාමත් ජීවත් වෙන ඔබ සැම අතරේ....

දයාබර විභාගය 💕

Image
  විටෙක ජය තව විටෙක පැරදුම කදුළු සිනහව ගෙනෙන්නේ ඔබමය මේ රුදුරු ලෝකයේ කිසිදු හව්හරනක් නැති නිවටයෙකු බවට මා පත් කරන්නේ ඔබමය අනුන්ගෙන් සිගා යදින ආත්මයක් නැති අසරණයෙකු ලෙස මා හංවඩු ගසන්නේ ඔබමය... මාගේ අනාගතය ජීවිතය  තීරණය කරන්නේ ඔබය... දයාබර විභාගය  මට පිහිටවනු මැනේ.. හද මගේ හිස් වුවද බුද්ධියෙන්හා දැනීමෙන් පිරී ඇත මා මනස මා මෙසේ යදින්නේ.... නුඹට ඇති බියෙන් නොව, මගේ මව්‍පියන් හට  කෘතගුණ දැක්විය යුතු බැවිනි. දයාබර විභාගය  මට පිහිටවනු මැනේ....

ඇතිවෙයි - නැතිවෙයි

Image
  සැහැල්ලුයි යොවුන් විය සමනළයෙකු තරමට ජීවිතය බරක් විය මහමෙරක් තරමටම නොදත් නිසාවට ඔබ ජීවිතේ යථාර්ථය..... තබනු කෙලෙසද නවතා යොවුන් විය ගලා යයි ජීවිතය  මරණය දිසාවටම හිමි නැති කිසිවක්ම සැමදා එක ලෙසම ඇතිවෙයි - නැතිවෙයි හැමදේම - හැමවිටම ජීවිතය බැදලන්න බැදලා එහි ඇති රසයට ගිජු වෙන්න කිසිවෙටකත් බැරිය මරණයට පිටුපාන්න...

සිතුවිලි

Image
ඉකි බිදි පුර හදට හාදු දෙන තරු පොකුරු හද ගැබේ නිදන් වුණු නිසල පැතුමක  සොදුරු සිතුවිලි සොදුරු පියුමක  රැදුණු පිණි බිදු වගේ නිසලයි ගලන නදියක  සසල දියකද වගේ නිසලයි හද ගැබේ ඉම රැදුණු සිතුවිලි

වෙනස් ඇසකින්

Image
  ලෝකයේ ඉන්න හැම මනුස්සයෙක්ම ජීවත් වෙන්නේ රාමුවකට කොටු වෙලා... ඒ රාමුවෙන් පිට හිතන්නවත්  කැමති නැතිතරමට  ඒ රාමුවට කොටුවෙලා  රාමුවකට කොටු වුණ  මිනිස්සුන්ට  තමන්ගේ ජීවිතය ලස්සන කර ගන්න , සාර්ථක කර ගන්න දරන වෙහෙසට වඩා ලෝකය දිහා        වෙනස් ලෙසකින් දකින්න පුරුදු වුණ  මිනිස්සු                ලෝකය වගේම  ජීවිතය ජය ගන්න දරන උත්සහය  සාර්ථකයි... ඒ නිසාම  රාමුවකට කොටු නොවී වෙනස් වෙන්න නම් වෙනස් විදිහට හිතන්න  බය වෙන්න එපා.✌

කෑගල්ලේ සැඟවුණු දිය ඇළි පාරාදීසය

Image
  සුන්දර කඳු පන්ති  යායකින්  සමන්විත වූ කඳු මුදුනකින් සමන්විත වූ කඳු මුදුන්වල සිට කඩා හැලෙන දිය ඇලි ගොමුවකින් හැඩවුණු දේදුගල ප්‍රදේශය තවමත් සංචාරකයින්ගෙන් නොඉඳුල් වුණු සොබාදහම් නිර්මාණයක් ලෙස සැළකේ.දුරස්ව  නොපිහිටා ඇති මෙම ඇලිවලින් සමන්විත මෙම භූමිය දිනක හෝ දෙදිනක  ගමනාන්තයකට  යොදාගත හැකි සුන්දර සංචාරක ප්‍රදේශයකි.කෑගල්ල - බුලත්කොහුපිටිය නගරයෙන් පැලැම්පිටිය නගරයේ ගමන් කිරීමෙන් මේ සැඟවුණු දිය ඇළිවල අපූර්වත්වය දක්නට ලැබේ.නිතර මිහිදුමින් බර අවට පිහිටි දිය ඇළි සියල්ලම දැක ගැනීමට හැකිවීමත් සංචාරකයින්ට විශේෂ වාසියකි.               සුරඹා ඇල්ල බුලත්කොහුපිටිය  නගරයට නුදුරින් රුවන්වැල්ල පාරේ ගොස් හැරී ගමන් කළ විට සුලඹා ඇල්ල හමුවේ.කැලණි ගඟේ අතු ශාඛාවක් වන රිටිගහ ඔයට රිටිගල ඔයාට  මේ දිය ඇල්ලෙන් ගලන දිය දහරා එක්වෙන්නේ වාගොල්ල හන්දියට මදක් ඔබ්බෙන් තැනකදීය.වැල් පාලමකින් එගොඩ වී ගැමි නිවෙස් අසලින් වැටී ඇති අඩි පාර ඔස්සේ පියමන් කළ යුතුය.         රිටිගහ ඔය බුලත්කොහුපිටිය නගරයට නුදුරින් රුවන්වැල්ල පාරේ ගොස් හැරී ...

😊 හිතන්න😊

Image
  සේරම බලාපොරොත්තු දෙපා මුල විසිරිලා ගියත් කඩන් වැටෙන්න එපා.. ඇස් පනාපිට සියල්ල විනාස වුණත්, පැනලා දුවන්න එපා.. ලෝකයාම හිනා වුණත් කඳුළු වක්කරගෙන අඬන්න එපා ... කවමදාවත් ඔබ  ඔබව අමතක කරලා කිසිම දෙයක්  කරන්න එපා... ඔයා වගේ  කෙනෙක් ඉන්නේ  මේ ලෝකෙටම එක්කනයි..  ඒ ඔයා විතරමයි ඉතින් ඒ නිසාම මේ ලෝකේ  ඔබට වටිනම කෙනා විය යුත්තේ ඔබයි.. ඔබ හරියට  හිටියොත් තමයි ඔබට, තව කෙනෙක්ව  ජීවත් කරවන්න පුළුවන් වෙන්නේ.. .

අරමුණක්✌

Image
  අපි හැමෝටම තියෙනවා අරමුණු  ඒ අරමුණු තමයි  අපිව ජීවත් කරන්නේ... මිනිස්සුන්ගේ අරමුණු  එක වගේ නෑ..     ඒවා එක එක විදිහට  හැඩවුණ,පාට වුණ අරමුණු... දැන හෝ නොදැන පොඩි,ලොකු  මේ මොන විදිහට හරි අරමුණු අපේ හිත්වල තියෙනවා..  සමහර මිනිස්සු ජීවිතේ මොන තරම් එපා වුණත්  එයාලා මොනම හෝ අරමුණක් වෙනුවෙන් ජීවත් වෙනවා. ඇත්ත ඒකයි...

ඒ හොඳටම ඇති!

Image
  ලෝකයේ හොදම කෙනා වෙන්න ඕන නෑ කාටවත් කරදරයක් නැති කෙනෙක් වුණාම  ඒ හොදටම ඇති... ලෝකයේ හැම කෙනාගෙම ප්‍රශංසා ඕන නෑ අනුන්ට කරදරයක් නැතුව ජීවත් වුණාම  ඒ හොදටම ඇති... ලෝකයේ හැම කෙනාටම අවංක වෙන්න කලින්  තමන් තමන්ට අවංක වුණාම ඒ හොදටම ඇති... ලෝකෙට පේන්න ප්‍රතිරූප නඩත්තු කරන්න ඕන නෑ හිතට එකගව,  තමන්ගෙ කියලා ප්‍රතිපත්ති ගරුකව  ජීවත් වුණාම ඒ හොදටම ඇති... ❤

ඔයා ඔයාට ආදරෙයිද?🤔

Image
ඔයා ඔයාට කොච්චර ආදරෙයිද?  මෙච්චර කාලෙකට ඔයා ඔයාගෙන් මේ ගැන අහලා තියෙනවද? නෑ නේද? ඒ ඇයි දන්නවද  ඔයාට ඔයාවම මගහැරිලා... ඔයාගේ කාර්‍ය්යබහුල ජීවිතයත් එක්ක, හති දාගෙන දුවන  රේස් එකක ඔයත් දන්නෙම නැතුව එක සාමාජිකයෙක් වෙලා... ඉතින් කොයින්ද ඔයාටම ආදරේ කරන්න වෙලාවක්...  දන්නවද ගොඩක් මිනිස්සුන්ට වැරදුන තැනත් එතන තමයි...  ඔයාට ජීවිතය කියන රේස් එක දිනන්න ඕනනම්   මුලින්ම ඔයා ඔයාට ආදරේ කරන්න... ඔයා, මම අපි හැමෝම කාර්‍ය්යබහුලයි තමයි එහෙම කියලා හිතලා කවදාවත් ඔයාට ඔයාව මග හැරෙන්න දෙන්න එපා. ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න..  අන්න ඒ දවසට දැනෙන අමුතුම හැගීම ඔයාම විදලා බලන්න.. ඉතින්  ඔයා ඔයාටම මහ ගොඩක් ආදරේ කරන්න 😍✌

සරසවිය

Image
  විටෙක සිනාසෙන විටෙක නෙත් තෙමන  සොදුරු පින්බිමකි  පතන සැම ඉටු වෙන සිතන දේ ලංවන අරුමයක්ය සරසවිය සතුට අත ළග එන විටෙක මිරිගුවක් වන දසුනක්ය සරසවිය දේශනා බොහෝ ඇති සැම දෙන සවන් දෙන මන්දිරයකි සරසවිය ලෙන්ගතුකම් දෝරේ ගලන අදුරු නොවන ජීවිතය දකින්න පියඹන්න සොදුරු වූ නිජ බිමට....

සරදියෙල් කන්දේ යටගියාව❤

Image
  කොළඹ සිට මහනුවර දක්වා නුවර මාර්ගයේ ගමන් ගන්නා විට කෑගල්ල නගරයත් මාවනැල්ල නගරයත් අතරතුරදී වම්පසින් සුවිශේෂී හැඩයකින් යුතු ගිරි කුලක් දක්නට ලැබේ.එය නමින් උතුවන් කන්ද වේ.මෙය "ලංකාවේ රොබින් හුඩ්"නමින් ප්‍රචලිතව පවතී.එලෙස හැදින්වීමට හේතුව වන්නේ එකල විසූ සරදියෙල් නම් පුද්ගලයෙකු නිසාය.සූර සරදියෙල්‍ යනු 19වන සියවසේ මැද භාගයේදී සුදු ආක්‍රමණිකයන්ට මහත් හිසරදයක් වූ මංකොල්ලකරුවෙකි.නමුත් ඔහු දුප්පතුන් වෙනුවෙන් සැම විටම කටයුතු කරන අයෙකි.විශේෂයෙන්ම ඉංග්‍රීසින්ගේ බොහෝ වස්තූන් සරදියෙල් ඇතුළු කණ්ඩායම කොල්ලකන ලදි.ඔවුන් එලෙස කොල්ල කෑදෑ ගම්මුන් අතර බෙදා දුන්නහ.මේ නිසා සූර සරදියෙල් "ලංකාවේ රොබින් හුඩ්" නමින් විරුදාවලි ලැබීය.ඔහු ජීවත්වූ ප්‍රදේශය එම පර්වතය රොබින් හුඩ් නමින් ප්‍රසිද්ධ විය.කන්ද උඩරටට පිවිසෙන නිමේෂයෙහි පිහිටා ඇති මෙම මනරම් පර්වතය තරණය තරමක් වෙහෙසකරය.   සරදියෙල් පර්වතයේ මුල් භාගයේ රබර් වගා කර ඇතත් ඉහළට ගමන් ගන්නා විට පිවිසෙනුයේ කැලෑ ප්‍රදේශයකටය.   පර්වතය මුදුන එළිමහන් ගල් තලාවක් වන අතර එහි කොනක කොතක් වන්වූ  උස් ශීර්ෂයකි.මෙම පර්වතය පුරා සරදියෙල් ඇතුළු සගයන් සැගවී සිට...

කෑගල්ලේ පුංචි නුවරඑළිය ❤

Image
  කොළඹ සිට කෑගල්ලට පැමිණ (කි.මී.78) බුලත්කොහුපිටියට කි.මී 25ක් යන විට මේ පුංචි නුවරඑළිය ඔබට දිස්වේ.කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටිය ප්‍රා.ලේ කොට්ඨාසය ඉතා සුන්දර කදුකර අත්දැකීම් විදගත හැකි පෙදෙසකි.මෙය එක් පසකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයටයි.   පැලැම්පිටිය හරහා මහනුවරට මායිම් වේ.     ප්‍රදේශයේ උසම ස්ථානය උඩපැලැම්පිටිය වේ.මුහුදු මට්ටමින් අඩි 4000ක් උසවේ.නිතරම මිහිදුමින් බර සිසිල් ප්‍රදේශයකි.   බුලත්කොහුපිටියේ සිට දේදුගල,පැලැම්පිටිය හරහා යන මාර්ගයක් දක්නට ඇත.සුන්දරම දර්ශන සහිත පාරවල් බොහෝමයකි.      බුලත්කොහුපිටියේ සිට දේදුගලට කි.මී 12ක් ඇත.මාර්ගය පටු වුවත්  නිදහසේ යාමට සකස් කර තිබේ.දේදුගල සිට පැලැම්පිටියට තවත් කි.මී 7ක් කදු නැගිය යුතුය. සෑම මාර්ගයක්ම වැලමිටි වංගුවලින් පිරී ඇත.දර්ශනීය වංගු 9ක් එක තැන බලා ගැනීමට හැකිවේ.ඒ අතරතුර දිය ඇලි ගණනාවකුත් දකින්නට පුලුවන්.දහවල් කාලයේදීද විගසම මීදුමෙන් වැසී යන අතර දේශගුණය සිතට සිසිලසක් එක් කරනු නොඅනුමානය.කදු මුදුනක් උඩ ඇති පන්සල සහ කැල්වින් ජන්පදයේ ඇති පත්තිනි දේවාලයද දක්නට ලැබේ.මෙහි...

කෑගල්ලට නම ලැබුණු හැටි

Image
            සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයට "කෑගල්ල " නමින් නම ලැබීමට හේතු සාධක වූ ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් ඇත.එම ජනප්‍රවාදය මෙසේය.               එක්තරා රජ කෙනෙක් තම බිසව හා ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග ගම් නියම් ගම්වල සංචාරය කළහ.දිනක් ඔවුහු කෑගල්ල නැමැති ස්ථානයේ නතර වී ගලක් උඩට නැගී දවල් ආහාරය ගත්හ.එහිදී රජුට බුලත් විටක් කන්නට සිතුනි.රජතුමා තම බුලත් මඩිස්සලය හා ගිරය අතට ගෙන පුවක් ගෙඩියක් කපා ගිරය ගල මත තැබීය.ටික වේලාවක් එහි ගත කල රජතුමාට ගලමත තිබූ ගිරය අමතක විය.රජතුමා පිරිස සමග එතැනින් පිටත්ව ගියේය.තවත් බොහෝ දුරක් මග ගෙවූ රජතුමා සහ පිරිස ගම්මාන කිහිපයක් පසුකර වෙහෙස මහන්සිය නිවාලන්නට වෙනත් තැනක නතර වූහ.දිය පිපාසයට පත් රජතුමා අසල ඇති පොකුණකින් ජලය පානය කොට බුලත් විටක් කා යලිත් එමිස්සලය ‍යලිත් දිග හැරීය.පුවක් ගෙඩිය කැපීමට ගිරය සෙවීය.ගිරය කොහෙදැයි ඇමතිවරුන්ගෙන් විමසීය.ඇමතිවරුන් ගිරය ඇත්තේ බුලත් කෑ ගලෙහි යයි කීය.එදා පටන් රජතුමාගේ ගිරය අමතක වූ ගල කෑගල නමින් බැවහැරයට පත්විය.පසු කාලයේදී එම ගල ප්‍රදේශය කෑගල්ල නම් විය.